Thursday, January 11, 2018

4.පත්තිනි දේවිය...


 4.පත්තිනි දේවිය...





                                       පත්තිනි මෑණියන්ගේ උප්පත්ති කතාව පිළිබඳ මත කිහිපයක්ම දක්නට ලැබේ.තමාගේ බල සම්පන්න ක්‍රියා පිළිබව උදම් වූ පඬි රජුගේ විනාශකාරී කටයුතු නැවැත්වීම සඳහා සක් දෙවිඳුන්ගේ ආරාධනයෙන් මනු ලොව උපන් යෝගීවරියක් ලෙස පත්තිනි මෑණියන් හඳුන්වයි. පත්තිනි දේවිය භාරතයේ මධුරා පුරයේ උපත ලබා ඇති බව කියැවේ. මෙම දේවිය සත්වාරයක්උපන් නිසා සත් පත්තිනි යනුවෙන්  හඳුන්වයි. දොළොස්වාරයක්උපන් හෙයින් දොළොස්පත්තිනි ලෙසටත් හැඳින්වේ. සිද්ධ පත්තිනි, සලඹ පත්තිනි, අඹ පත්තිනි, මල් පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි හා සත් පත්තිනි යනුවෙන් නම් හත අනාවරණය වෙයි. දෙමටමලෙන්, ගින්නෙන්, නයි කඳුළෙන්, විදුලියෙන්, පිනි බිඳුවෙන්, සිනා රැල්ලෙන්, අඹ ගෙඩියෙන්, සළුවෙන්, නුග කොළයෙන්, කඳුරු පොත්තෙන්, ජලයෙන්, දළයෙන්, උපන් බව පැරණි ජන කතාවලින් කියැවෙයි.

                                   පත්තිනි මෑණියන්ගේ සැමියා පාළඟ කුමරුය.ඇතැම් පොත්පත් වල කෝවලන් ලෙසත් දක්වා තිබේ.දැඩි පති භක්තියකින් හෙබි ඇය ඇතැම් පොත්පත්වල කන්නකී ලෙසත් දක්වයි.පත්තිනිය කෙතරම් පත් භක්තියකින් සිටියත් ඇගේ සැමියාගේ නොමනා ක්‍රියාවන් නිසා ඔවුන් දුඟී බවට පත් වේ.පසුව ඇගේ රන් සළඹ විකුණා මුදල් ගෙන එන ලෙස සැමියා පිටත් කරන අතර  පඬි රජුගේ බිසවගේ පා සළඹ එය යැයි කෝවලන් බොරුවට වරදේ පටලා මරා දමයි.මෙයින් කෝපයට පත් වූ පත්තිනිය රජුට සාප කර පඬි රට ගිනිබත් කරනු ලබයි.නමුත් ඇය පසුව පඬි රට සශ්‍රික කළ බව මූලාශ්‍රයන්ගේ සඳහන් වේ.
පත්තිනි මෑණියන් තිසරණ සරණ ගොස් ඇති අතර බුද්ධත්වය සඳහා පිරිමි ආත්මයක් බලාපොරොත්තුවෙන් තමා වෙත එන ජනයාට සෙත සලසයි.


      ගජබාහු රජු සමයේ තම පිය රජුගේ අවසරය ඇතිව දකුණු ඉන්දියාවට නීල මහා යෝධයා සමඟ ගිය රජු සොලී රජු බිය ගන්වා පත්තිනි දේවියගේ රූපයත්, සලඹත් සිව් දේවාලයේ දෙවියන්ගේ ආයුධත් එකතු කර ගත්තේය. වළගම්බා රජු සමයේ සොලී පුරයට ගෙන ගිය පාත්‍ර ධාතුවත් යළි පැහැර ගත්තේය. මෙම පූජනීය වස්තුන් සමඟ සොලී ද්‍රවිඩයන් 12,000 ක් රැගෙන ගජබා රජු බව මහාවංශය කියයි. පත්තිනි දේවාලයක්නවගමුවේ ඉදිකර පුද පූජා පැවැත්වෙයි. අද දක්වා එය සිදුවේ. මේ අනුව පත්තිනි දේවියගේ කථා පුවතට දිගු ඉතිහාසයක්ඇති බව පෙනේ. අං කෙළිය, පොරපොල් කෙළිය, අඹ විදීම, ඇසළ පූජාව, කිරි අම්මා දානය ආදී පූජා පත්තිනි දේවිය මුල්කර ගෙන පැවැත්වෙයි.






පත්තිනි මෑණියන් උදෙසා පූජා පැවැත්වීම  

                    පත්නිනි දේව මෑණියන්ගේ රූපය සහිත පූජාසනය මත සුදු පිරුවටයක්ඇතිරිය යුතුය. එහි විවිධ වර්ගයේ මල් අතුරා, දේව ප්‍රතිමාවට මල් මාලයක්දමා පොල් තෙල් පහන් 07 ක්දැල්විය යුතු වේ. පහන් 07 ක්වෙනුවට තිර 07 ක්දමා එක පහනක්දැල්වුවත් කම් නැත. අඹ ඇතුළු පලතුරු වර්ග 07 ක් තැබිය යුතු වන්නේය. තැඹිලි ගෙඩියක්හා කැවිලි වර්ග 07 ක් කෙසෙල් සහිත පඬුරු 07 ක් පූජාසනයේ තැන්පත් කළ යුතුය.

පූජාව පැවැත්වීම සඳහා කිරි අම්මාවරුන් තෝරා ගැනීමේදී පාරම්පරික චිරාගත ක්‍රමයට සිදු කිරීම වැදගත් . පහත අය මේ සඳහා නුසුදුස්සෝ වෙති.


01.
හැරමිටි වාරුවෙන් ගමන් කරන මහලු උදවිය.

02.
සුවකළ නොහැකි දද කුෂ්ඨ වලින් පෙළෙන අය.

03.
බිහිරි හා දෙනෙත් අන්ධ අය.

04.
අත්පා රහිත හෝ අංග විකල වූවන්.

05.
අපස්මාර හෝ අංශභාග රෝගීන්.

06.
කලින් දරුවන් ලැබ ඔවුන් සියලු දෙනා මියගිය තැනැත්තියන්.

07.
සැමියා මියගිය වැන්දඹුවන්.

08.
දරුවන් නොලැබන වඳ ස්‌ත්‍රිහු.

09.
මත්පැන් පානය කරන මස්මාළු විකුණන කතුන්.

10.
කේලාම් කියමින් උගුල් අටවන උදවිය.

11.
ගණිකාවන්.
                            


                                පූජාව පැවැත්වීම සඳහා පෙනී සිටින සුදුසුකම් ලත් කිරි අම්මාවරුන් 07 දෙනාත් නිවසේ පදිංචි උදවියත් එක් පත්තිනි දේවියට කවි මගින් ආරාධනා කෙරේ. පන්සිල් සමාදන් වී, බුද්ධ පූජා පවත්වා දෙවියන්ට ආරාධනා කර, පූජාව තැන්පත් කර, කිරි අම්මාවරුන්ට දන් පිළිගැන්වීම කළ යුත්තේය. ඔවුන් පින් දී දන් පිළිගන්නා අතර දානය වළදා, දෙවියන්ට පින් දී ශාන්තිය උදා කරන ලෙස කන්නලව් කෙරෙයි.කිරිමව්වරුන් අසුනින් නැගිට දෙවියන් වෙනුවෙන් තැබු ආසනයට වැඳ නමස්කාර කෙරේ. පසුව පහන් වල ඇති තෙල් නිවසේ උදවියගේ හිස්වල ආලේප කිරීම සිදුවේ.අනතුරුව දෙවියන්ට පිං දෙමින් කාර්යය නිමා වේ.




                                              විශේෂයෙන් ගැබ් ගත් කතුන්ගේ දරුවන් ඉපදීමට පෙර මාස කිහිපයකින් පත්තිනි දේවියගේ ආශිර්වාදයෙන් කිසිදු කරදරයක්නැතිව වාසනාවන්ත දරුවන් ලබා දෙන ලෙසට පත්නිනි පූජාව ඔප්පු කිරීමට පෙර බාර වීම උචිතය. දරු ප්‍රසූතියෙන් පසු කිරිමව්වරුන් උදෙසා යට කී අයුරින් දානය පිළිගැන්වීම යෙහෙකි. දරුවා ලැබීමෙන් පසු මාස 03 - 04 ක්ඇතුළත බාරය ඔප්පු කිරීම සුදුසුය. ලෙඩ, දුක්කරදර, ග්‍ර අපලවලට, දරු උපත්වලට පමණක් නොව ගොවිතැන් කටයුතුවලට හානි සිදුවීම, අස්වැන්න වැඩිකර ගැනීම, යක් ප්‍රේ දෝෂ, ඇස්වහ කටවහ දෝෂ ආදියෙන් වැළකීම ආදී කරුණු රාශියකට පත්තිනි පූජාව සිදු කෙරෙයි.


                     









5 comments: