Saturday, February 3, 2018

12.දැඩිමුණ්ඩ දෙවියන්...



12.දැඩිමුණ්ඩ දෙවියන්...




                               ලක්දිවට, බුද්ධ ශාසනයට විපතක් සිදුවන සෑම අවස්ථාවකදීම විවිධ ස්වරූපයන්ගෙන් පහළ වී රට ආරක්‍ෂා කිරීමට කැපවන දැඩි බලයකින් යුතු දෙවියකු ලෙස දැඩිමුණ්ඩ දෙවියන් ජනතා ප්‍රසාදයට පත්වී ඇත. දැඩි වූ සිතත්, කැරැලි ගැසුණු හිසකෙසත් නිසා දැඩිමුණ්ඩ නාමයෙන් හඳුන්වන එතුමන් පිළිබඳ කියැවෙන ඓතිහාසික කතා පුවත් කිහිපයකි.
                           
                          හඳුන් වනයේ විසූ හෙයින් ‘හඳුන් කුමාර’ නමින්ද, මාණික්‍ය භාණ්ඩාගාරයේ ආරක්‍ෂක කටයුතු භාරව සිටි හෙයින් ‘මැණික් බණ්ඩාර’ නමින්ද, සොළී පරදේසක්කාරයන් ලක්දිව බලයට පත්ව සිටි සමයේ ඔවුන් හා යුද්ධ කොට අල්ලා ගත් ප්‍රදේශ ආරක්‍ෂා කළ හෙයින් ‘උෟවේ බණ්ඩාර’ නමින්ද, ඇම්බැක්කේ මහ දේවාලයට අධිපති වීමෙන් ‘ඇම්බැක්කේ දේවතා බණ්ඩාර’ නමින්ද, ඇතෙකු පිට නැඟී සටන් වැද කිරුළ ගම්කන්ද දෙබෑකර සතුරු බළමුළු විනාශ කළ නිසා ‘කිරුළ බණ්ඩාර’ නමින්ද, කෙහෙල් පන්නල ග්‍රාමයට නුදුරින් මහ වනයේ අලුත් නුවරක් පිහිටූ වූ හෙයින් ‘අලුත්නුවර දේවතා බණ්ඩාර’ නමින්ද හදුන්වනු ලබයි.



                                                        ඔහු ලක්දිව යක්‍ෂ හා නාග ගෝත්‍ර දෙකටම අයිතිවාසිකම් කියන උරුමක්කාරයෙකි. යක්‍ෂ හා නාග වංස දෙක එකතුව බිහි වූ දරුවන් ද්වි වංසික හෙවත් දේව වංසිකයන් වන බව ජනශ්‍රැතියේ සඳහන් නිසා දැඩිමුණ්ඩ උපතින්ම දේව වංශිකයකු බව සඳහන් කළ හැකිය. යක්‍ෂ ගෝත්‍රිකයන්ට අධිපති වෙසමුණි (කුවේර) දිව්‍ය රාජෝත්තමයාණන් වහන්සේගේ පුත්‍රයා වූ පූර්ණක නම් යක්‍ෂ සේනාධිපතිට දාව, එරන්දතී නම් නාග ගෝත්‍රික කන්‍යාවියගේ කුසින් තලගිරිකන්දේදී මොහු උපත ලැබීය. සිද්ධාර්ථ තාපසයාණන් නේරංජනා නදී තීරයේ ඇසතු බෝ රුක මුලදී සියලු කෙලෙසුන් නසා වෙසක් පුර පොහෝ දිනයේ බුදු බව සාක්‍ෂාත් කර ගනිද්දී වසවර්ති මාරයා ඇතුළු දස බිම්බරක් මාර සේනාව සමඟ ඇති වූ මාර යුද්ධයේදී බලවත් දෙවිවරුන් පවා බියේ පැන ගියහ. මේබැව් දුටු කුවේරයන් තම මුනුබුරු වූ දැඩිමුණ්ඩයන් කැඳවා උන්වහන්සේ ආරක්‍ෂා කරන ලෙස දැන්වීය. කාශ්‍යප බුදුන්ගේ අවධියේ සිට ත්‍රිවිධ රත්නය කෙරෙහි අචල භක්තියෙන් යුතුවූ දැඩිමුණ්ඩ තනිවම හෝ සටන් කර සිද්ධාර්ථ බෝසතාණන් ආරක්‍ෂා කරමියි සිතා නොබියව රන් දුන්නක් ගෙන, සුදු වතින් සැරැසී මාර සේනවා සමඟ සටන් කර මහමෙර පර්වතය මුදුනේ වූ වසවර්ති මාරයාගේ විමානයද විනාශ කර දැමූ බව ගල කැප්පූ සැහැල්ලේ සඳහන් වේ.


                           දැඩිමුණ්ඩ දෙවියන්ගේ ප්‍රධාන දේවාලය ලෙස සදහන් වන්නේ මාවනැල්ල අලුත් නුවර දැඩිමුණ්ඩ දේවාලයයි.මීට අමතරව මෙම දෙවියන්ගේ ආශීර්වාදය ලබන අනෙකුත් ප්‍රදේශ වන්නේ හිඟුල, මාවනැල්ල, කෑගල්ල, ගලිගමුව, බත්ලේගල, කෙහෙල්පන්නල, හෙම්මාතගම, රහලගල, කඩුගන්නාව ආදී ප්‍රදේශයි. කන්ද උඩරට රාජධානියේ නිලමේවරයකුගේ ඇඳුම් ආයිත්තම්වලින් සැරැසී සිටින දැඩිමුණ්ඩ දෙවියන් වේවැලක් හෝ සැරයටියක් සුරතින් දරා සැවුළාගේ පිටින් ගමන් වඩී.


                           තමන්ගෙන් පිහිට පතන සියලු ජනයාට පැමිණෙන්නා වූ අනවින, කොඩිවින දෝෂාන්ධකාරයන්ද, යක්‍ෂ, භූත, පිසාච, කුම්භාණ්ඩාදීන්ගේ උපද්‍රවයන්ද, තුන් ‍දොසින් හටගත් දෝෂාන්ධකාරයන්ද මඟහරවා සර්වාරක්‍ෂාව ලබාදෙන අලුත්නුවර දැඩිමුණ්ඩ දෙවියන් අනවින සොරසතුරුකම් කරනවුන්ට දැඩි දඬුවම් ලබාදෙන බවද විශ්වාස කෙරේ.









Friday, January 26, 2018

11.ගම්භාර දෙවියන්..


11.ගම්භාර දෙවියන්... 





                              ගම්බාර දෙවියන් , සිද්ධ සූනියම් දෙවියෝ, කඹලෑ මුත්තා, කඹලෑ අප්පච්චී, කබලෑවේ බණ්ඩාර, කබලෑවේ මුදියන්සේ, ඔඩ්ඩි වඩිග හූනියමා, ගම්බාර මුත්තා යන නම්වලින් සත්කෝරලයේ සිංහලයන් හඳුන්වනු ලබන්නේ කඹලෑවේ දෙවියාය. මේ දෙවියන් පිළිබඳ උත්පත්ති කතා කිහිපයක් ජනශ්‍රැතියේ සඳහන් වේ. ඉන් එකක් මෙසේය.

                                        පුරාණ දඹදිව උතුරු දිශාවේ එක්තරා ප්‍රදේශයක දරුණු යක් උවදුරක් පැවැතියේය. මල්වර වූ දැරියක් හෝ රූමත් කාන්තාවක තනිපංගලමේ සිටියදී විකාරයෙන් ‍දොඩවන්නට විය. අලුත උපන් බිලිඳුන් එක්වරම අතුරුදන් විය. මෙම ඛේදවාචකයෙන් පීඩාවට පත්වූ රටවැසියෝ විවිධ ශාන්තිකර්ම කරමින් උවදුරින් මිදෙන්න උත්සාහ ගත්ත , සියලු උත්සාහයන් ගඟට කැපූ ඉනි මෙන් විය. එයින් නොනැවතුණු රට වැසියෝ තෙළිඟු රටින් දක් යකැදුරකු ගෙන්වීය. යක්ෂයාගේ බලවත්කම දුටු යකැදුරා හූනියම් කැපුම් මන්ත්‍ර ලක්ෂයක් ලියා ජීවම් කළ පුස්කොළ ග්‍රන්ථයක් ඇතුළට යක්ෂයා අල්ලා සිර කරන ලදී. පුස්කොළ ග්‍රන්ථය තෙළිඟු රටට ගෙනා යකැදුරා එය රන් නූලකින් ගැටගසා මුහුදේ පා කර යැවීය.
                                          මුහුදේ පාවී පුස්කොළ ග්‍රන්ථය ලක්දිව දකුණු ඉවුරේ තිබී නිවැසියකුට හමු විය. අතර පුල්ලියාපිටියේ (වර්තමාන කුලියාපිටිය ප්‍රදේශය) දීගල්ල ප්‍රදේශයේ උපාසකයෙක් මාතර ප්‍රදේශයේ වන්දනා ගමනකට ගියේය. එම උපාසක තෙම සමඟ කුලුපග වූ නිවැසියා, එය කිසි දිනෙක නොලිහන පොරොන්දුව පිට පුස්කොළ ග්රන්ථය උපාසකයාට දිනි. නිවැසියාට වූ පොරොන්දුව පිට පුස්කොළ පොත තම නිවෙසට ගෙන ගිය උපාසකයා පෙට්ටගමක් තුළ එය බහා තැබීය. කලක් ගත විය. කෙසේ හෝ මේ පිළිබඳ තොරතුරු දැනගත් ‍දොඩම්පාවුල ගමේ විසූ පුද්ගලයෙක් එම නිවෙසට පැමිණ පොත සොරා ගත්තේ, එහි බලගතු මන්ත්‍ර තිබේ යැයි සැක කරමිනි. පොත සොරා ගත් ඔහු එම රන් දම් ලිහන්න විය. ක්ෂණයෙන් පොතෙන් එළියට පැනගත් යක්ෂයා අහසේ සිට මහත් පෙළහර පාන්න විය.

ගොඩ බැස සිංහල යට නොව ලසිනා
මුදා බලමු පොත මැතිවරු කියනා
මුදා එළනු පොත වට බැමි ලිහනා
එදා පැනපි ගුව නට එර්දියෙනා

                      එයින් බියට පත් වූ සොරා කලබල වී පොත නැවත බඳින්න ලණුව තද කරන විට එය කැඩී ගියේය. එක්වරම "නැවත කඹ ලා හිරකරනු" යැයි විධානයක් ඇසිණි. නමුත් වන විට යක්ෂයා එළියට පැන සිටියේය. පෙර සේම රට වැසියන්ට වින කරනමින් රට පුරා සැරිසැරීය. විශේෂයෙන් මන්ත් ගුරුකම් දන්න පිරිමි ළමයින් ඔහු අතින් විනාශ විය. අලුත ඉපදුණු බිලිඳුන් පැදුරු වාන් අස්සේ, කුඹුරු නියරවල් උඩ අබ්බගාත වී වැටී සිටියහ. කබලෑවේ වැසියන්ට හිරිහැර කළ යක්ෂයා දමනය කිරීමට කිසිදු පුද්ගලයකුට නොහැකි විය. යක්ෂයා බැඳ තිබූ පොත කුඹල්වල ගමේ නුග ගසක දෙබලක සඟවන ලද අතර කාලයාගේ ඇවෑමෙන් මෙම දෙබල පොත සමඟ හාවී ගියේය. මෙම යක්ෂයා මිනිසුන්ට කළ වින මෙසේ සඳහන් වේ.

කටුවැල්ලට දෙවි යෝ වැඩි ගමනේ
සිව්වල් පොල් මුල් ලේ පොල් සෙවනේ
වැටවල් පොඩිකර ගිජිඳෙකු ලෙසිනේ
වැටවල් පීරා බියගන් වමිනේ



                     අවසානයේ දී එගම රාජ පද්ම මුදියන්සේ නම් උපාසකයා මුල් වී මෙම උවදුරින් බේරා ගන්නා ලෙස පත්තිනි දෙවියන්ගෙන් අයැද සිටියේය. පත්තිනි දෙවියන් කියා සිටියේ නවගුණ මන්ත්‍රයෙන් ලක් වාරයක් ජීවම් කළ නවගුණ වැල් හත් පොටක් සකස් කර දෙන ලෙසයි. රාජපත්ම මුදියන්සේ එය ජීවම් කර දුන්නේය. පත්තිනි දෙවියන් මහත් පරිශ්‍රමයෙන් යක්ෂයාගේ ගෙලට නවගුණ හත්පොට දැම්මේය. එකෙණෙහිම අහසට පැනගත් යක්ෂයා නවගුණ වැල් හතර පොටක් කඩා දැම්මත්, ඉතිරි තුන් පොට කඩා ගත නොහැකි විය. මෙල්ල වූ යකා පුල්ලියාපිටියේ දීගල්ල ප්‍රදේශයේ ගලක් ළඟ වැටී සිටියේය. ගම්වැසියන් එකතු වී කඹවලින් යක්ෂයා බැඳ දැම්මේය. කඹවලින් ලෑ (බැඳ දැමූ) තැන කබලෑව විය.

                            යක්ෂයාගේ ශක්තිය දුටු පත්තිනි දෙවියෝ ඔහුට දේව වරමක් දුන්නේ අසරණ රට වැසියන්ට දුකට කරදරයට පිහිට වෙන ලෙස පොරොන්දු කර ගනිමිනි. එතැන් පටන් කඹලෑ යක්ෂයා කබලෑ දෙවියන් ලෙස ගම්මුන් අතර ප්‍රසිද්ධ විය.

                                  පිල්ලි දහ අටක්, අංගම් දහ අටක්, හූනියම් කිරීමට මන්ත්‍ර ලක්ෂයක් සහ හූනියම් කැපීමට මන්ත්‍ර ලක්ෂයක් හිමි කඹලෑ මුත්තා වරදට දඬුවම් දෙමින්, දුකට කරදරයට පිහිට වෙමින් ගෙයක් ගෙයක් පාසා ඇවිදියි. පැරැණි සත්කෝරලයේ වැසියෝ නිවෙස ඉදිරිපිට ගවගාල සකස් කොට එළියේ කඹලෑ මුත්තාගේ පහන් පැලින් විහිදෙන එළිය ගවගාලට වැටෙන්න සලස්වයි. සුදු අසු පිටින් එන කඹලෑ මුත්තා කිරි හරකුන්ගෙන් කිරි බී, ගෙවැසියන්ට ආශිර්වාද කර වතුපිටි හරක බාන ගෙවල් දොරවල් ආරක්ෂා කරයි.

                          කඹලෑ මුත්තාට නිවෙස ඉදිරිපිට තබන පහන් එළිය නිවෙසේ ඉදිරි දොරට වැටීම නුසුදුසු බව ගම්මුන්ගේ පිළිගැනීමයි. පුර පක්ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පෙර දින පහළොව) සූනියම් දෙවියන්ගේ බලය වැඩි අතර, අව පක්ෂයේ දිනවල (පසළොස්වක පොහොය දිනට පසු දින පහළොව) සූනියම් යක්ෂයාගේ බලය වැඩිවේ. නිසා අව පක්ෂයේ දිනවල සූනියම් යක්ෂයාගේ බැල්ම නිවෙසට වැටීම අසුබය.

                             සූනියම් දෙවියන්ගේ හා සූනියම් යක්ෂයාගේ ස්වරූපයන් විවිධ මතධාරීන් විවිධාකාරයෙන් ඉදිරිපත් කරයි. සූනියම් දෙවියන්ගේ සුදු වත, අතේ සෝලු වැලකි. සුදු අසු නිල වාහනයයි. සුරතින් තඹ පොතක් ගෙන වමතින් ත්‍රිශූලය, සුදු ජටාවක් බැඳ උතුරු සලුවකින් සැරසෙයි. සූනියම් යක්ෂයාගේ මුවෙහි විෂ සර්ප, සිරසේ නාග කොණ්ඩා පහක්, උදරයේ නයින් බැඳ, සුරත කඩුවක් (වේවැලක්), වමත ගිනි කබල දිවි සම් පොරවාගෙන උදරයේ නාග බඳ පටිය, ගෙලෙහි නාග තැල්ල, දෑසින් දුම් කඳක් හා දෙකන් සිදුරෙන් ගිනි ජාලාවක්, දෙකර සැඩපළු උඩු රැවුල දඟ ගසා ඇත. යටි රැවුල දිග හැර ඇත. නෙතින් ගිනි දැල්, දෙසවනින් දුම් පිටවේ. හුස්මෙන් ජල කඳකි. මුවින් විෂ දුම් හරී. මුවෙහි පොළඟෙකි. දෙවුර උරගුන්ය. ළමැද රකුසෙකි. රන් හීය උර හෙළාගෙන ඇත. කුරිරු විසඝෝර නයින් සියොළඟ පලඳී. තින්නෝරු ගාගෙන සිටී.

                   කුලියාපිටියේ, කබලෑ දෙවිගම, කබලෑව ප්‍රධාන දේව මන්දිරය කරගෙන වෙසෙන මෙම දෙවියන්ගේ ආශිර්වාදයට පත්වන ප්‍රදේශ වන්නේ රද්දලාන, කබලෑව, කුඹල්වල, ගොමුගොමුව, කෝන්ගහගෙදර, වනමන්දාව, කොක්එළුව, පිදුම, දික්හැර, වෑවල, ගයියාල, දීගල්ල, වෑගමුව සහ පල්ලේපිටිය යි. සංචාරය කරන ප්‍රදේශ වන්නේ බෝධිමුල්ල, අස්සැද්දුම, දියකලමුල්ල, උණලීය, තම්මත් කරවිට, මාවෙල කරගහගෙදර, ගල්පොළ, බෙම්මුල්ල, බෝගොඩ, කටුවැල්ල, වල්පොළමුල්ල සහ කුලියාපිටිය යි. කඹලෑ මුත්තා මුන්නේශ්වරමේ සිට තම්මැන්නා තොටට ගොස් ගිමන් හැර දිය නා ගම්බිම් බලා ඇවිදියි. නිසා මේ සියලු ගම්බිම් කඹලෑ දෙවියන්ගේ බලය පවතින ප්‍රදේශ බවට විශ්වාසයක් ඇත. එනමුත් ලක්දිව නන්දෙසින් එන හුදී ජනයා කඹලෑ මුත්තාගෙන් පිහිට අයැදියි. කඹලෑ මුත්තාගේ බලයෙන් පේන කීමද සිදු කෙරේ.

                           කබලෑ සූනියම් දෙවියන්ට පුදන ඕනෑම කෙනකුට අමනුෂ්‍ය බිය, රාජ බිය ආදී කිසිදු ව්‍යසනයකට පත් නොවී සිටිය හැකි බව අත්දැකීම් ලද භක්තිකයෝ පවසති. සූනියම් දෙවියන්ට පහන් තැබිය යුතු වේලාවන් වන්නේ දිවා / රාත්‍රී 10.00 - 10.24 කාලයේය.